පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව

ජූනි 02, 2024
    නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතිනවා.

    අයහපත් කාළගුණික තත්වය හමුවේ බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින්, එම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් ආරක්ෂිතව මුදාගැනීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් කුඩා යාත්‍රා මඟින් ආපදා සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතිනවා.

    ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නාගොඩ, මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, අකුරැස්ස, පනාතුගම සහ කඹුරුපිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය සහ වැලිපැන්න, කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, මීතොටමුල්ල, කොළොන්නාව සහ පුවක්පිටිය, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන යන ප්‍රදේශයන්හි ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, එම ප්‍රදේශයේ ජනතාව කඩිනමින් මුදවා ගැනීම සඳහා අද දින (2024 ජුනි 02) මෙලෙස කුඩා යාත්‍රා මඟින් ආපදා සහන මෙහෙයුම් සිදුකිරීම සඳහා සහන කණ්ඩායම් විසිනවයක් (29) එම ප්‍රදේශයන් වෙත අනුයුක්ත කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
    එමෙන්ම, ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින් හැට දෙනෙකු (60) ආරක්ෂිතව මුදාගැනීම සහ පුද්ගලයින් දෙසිය පනස් දෙනෙකු (250) වෙත පිසූ ආහාර ලබාදීම නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් අද දින (2024 ජුනි 02) උදෑසන කාලයේ සිට මේ දක්වා සිදුකෙරුණු අතර, අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට තවදුරටත් අවශ්‍ය සහන සැලසීම සඳහා අමතර සහන කණ්ඩායම්ද නාවික හමුදාව මඟින් සූදානම් කර ඇත.

    Latest News