Vesak

ඖෂධ ජාවාරම බින්ඳ ඇමතිගෙන් කර්මාන්ත ශාලා 02කට මුල්ගල

අප්‍රේ 01, 2019

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමේ අරමුණින් සිරින්ජර සහ රසායනාගාර සදහා භාවිතා කරන උපාංග නිෂ්පාදන කර්මාන්ත ශාලා 02කට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ සිදු කෙරිනි.

    දේශීය පෞද්ගලික සමාගම් දෙකක් වන ලංකා ඩයග්නොස්ටික් පුද්ගලික සමාගම සහ ග්‍රීන්තෘෘ සේෆටී මෙඩිකේයාර් පුද්ගලික සමාගම ඉදිවන අතර ඉන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 300 කට රැකියා අවස්ථා හිමිවෙයි. ලංකා ඩයග්නොස්ටික් පුද්ගලික සමාගම පැරසිටමෝල් ඖෂධ වර්ගයක් නිෂ්පාදනය කරන අතර, ඒ සදහා වූ ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10 කි.

    ග්‍රීන්තෘෘ සේෆටී මෙඩිකේයාර් පුද්ගලික සමාගම විසින් සිරින්ජර ඇතුලු රාසායනාගාර භාවිතාවට අවශ්‍ය ප්ලාස්ටික් උපාංග නිෂ්පාදනය කරනු ලබයි. ඒ සදහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 05 කි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග වසර 15 ක් ඒකාබද්ධව ඖෂධ, සිරින්ජර සහ රසායනාගාර සදහා භාවිත කරන ප්ලාස්ටිස් උපාංග නිෂ්පාදනය කරයි. ජාත්‍යන්තර තලයට හා නවීන විද්‍යාගාරානුකූලව එම ඖෂධ නිෂ්පාදනය කිරිමට නියමිතයි.

    මුල්ගල් තැබීමෙන් පසු පැවැති ජනහමුව ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා - ඖෂධ වෙළදාමත් එක්තරා ජාවාරමක්. මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී දේශපාලනය, මුදල්, බලය විසින් එය නතර කෙරුනා. වසර 45 ක් යන තුරු එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුනා. අපේ රටේ පිළිකා ඖෂධ ජාවාරමක් ද ක්‍රියාත්මක වුනා. බහුජාතික සමාගමක් විසින් රුපියල් දෙලක්ෂ අසූපන්දහසකට ආනයනය කරන ලද ඖෂධයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මිල දී ගත්තේ. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රුසියාවේ නිෂ්පාදිත දෙවන ඖෂධය හදුන්වා දුන්නා. මේ වන විට වසර ගණනාවක් එම ඖෂධය මගින් ප්‍රතිකාර කළත් කිසිදු අතුරු ආබාධයක් සිදු වී නැහැ. නමුත් මෙම රුසියානු ඖෂධයට විරෝධය පළ කරනවා. නිදහස් සෞඛ්‍ය කියා මුදල් වැය කළේ සමාගම් වලටයි. දැන් තුන්වන ඖෂධය ඉන්දියාව නිෂ්පාදනය කර තිබෙනවා. ඇමරිකාවේ එෆ්. ඩී ආයතනය පවා අය අනුමත කර තිබෙනවා. එහි මිල රුපියල් 47000 යි. මට අවශ්‍ය වූයේ පිළිකා ඖෂධ ජාවාරම අවසන් කිරීමටයි. මෙලෙස ආදේශක ඖෂධ හදුන්වා දුන්නේ නැත්නම් අපි තවමත් රුපියල් දෙලක්ෂ අසූපන්දහසකට පිළිකා ඖෂධ මිල දී ගන්නවා. මෙම ජාවාරම පිටුපස ඇතැම් වෛද්‍යවරුන් ද සිටිනවා. ඖෂධයක් රෝගියෙකුට නියම කිරීමේ දී එවැනි වෛද්‍යවරයෙකුට රුපියල් ලක්ෂයක් ලැබෙනවා. මෙම රුසියානු ඖෂධයට විරුද්ධව සිටින්නේ වෛද්‍යවරුන් 04 ක් විතරයි. පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නව ආදේශක ඖෂධ වලට කැමැතියි. වරප්‍රසාද භුක්තිවින්ද අය තමයි කෑගහන්නේ. දේශප්‍රේමී නායකයාගේ කාලයේ තමයි මෙම ජාවාරම් සිදු වුනේ. මෙරට ජනතාව වෙනුවෙන් සේවය කිරිම තමයි දේශප්‍රේමය කියලා කියන්නේ. භූමිය ආරක්ෂා කිරීම විතරක් නොවෙයි. රුපියල් දෙලක්ෂ අසූපන්දහසකට පිළිකා ඖෂධ අලෙවි කළ බහුජාතික සමාගම වර්තමානයේ තවත් ඖෂධයක් නිෂ්පාදනය කර තිබෙනවා. පියයුරු පිළිකා සදහා භාවිතා කරන මෙම ඖෂධයේ මිල රුපියල් ලක්ෂ පහහමාරක්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 107 ක් වැය කරමින් එම ඖෂධ මිල දී ගෙන තිබුනා. මම උපදෙස් ලබාදුන්නා එම ඖෂධය මිල දී ගැනීම නතර කරන්න කියලා. රජය රෝගීන්ට ඖෂධ ලබාදෙන්නේ නොමිලේ. මෙම ජාවාරම් කඩනකොට සුළුතරය කෑගහනවා. ජාතිවාදීන් ඉන්නේ සුළු පිරිසක් සියලු සිංහලයන් ජාතිවාදීන් නොවෙයි. පිළිකා ඖෂධ සදහා මිල සීමාවක් පනවා තිබෙනවා. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සීමාව මම ඉවත් කළා. පිළිකා රෝගියාටත් නොමිලේ බෙහෙත් දෙන්න බැරිනම් මොන නිදහස් සෞඛ්‍යයක් ද. පිළිකා රෝගීන්ට ඖෂධ ලබාදීමට, ස්ටෙන්ස් අක්ෂි කාච ලබාදීමට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගත්තේ නැහැ.

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම අපි ආරම්භ කර තිබෙනවා. දෙස් විදෙස් ආයෝජකයින් 38 ක් සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. දැනට කර්මාන්ත ශාලා 04 ක ඖෂධ නිෂ්පාදනය කරනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාවය ඖෂධ පෙති හෝ කරල් ලෙස මිලියන 4 දක්වා වැඩි කර තිබෙනවා. වසර 2020 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් සියයට 80 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම මගේ අරමුණයි.

    මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමණාකාර අධ්‍යක්ෂ පී. සුන්දරලිංගම් යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

     

    Latest News

    Calender

    « May 2019 »
    Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3 4 5
    6 7 8 9 10 11 12
    13 14 15 16 17 18 19
    20 21 22 23 24 25 26
    27 28 29 30 31