ඉලක්කයට ළං වෙයි

දෙසැ 31, 2023

    ‍‍මේ වසරේ දෙසැම්බර් මාසයේ පමණක්, මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්‍ෂ දෙකේ සීමාව ඉක්මවූ බව, සංචාරක අමාත්‍යාංශය පවසනවා.

    මෙය, පසුගිය වසර හතරේ, මසක් තුළ පැමිණි වැඩිම සංචාරක පිරිසයි. මේ වසරේ දිවයිනට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව, ලක්‍ෂ 15 කට ආසන්න බවද  සංචාරක අමාත්‍යාංශය පවසනවා.

    පසුගිය 28 වැනිදා වනවිට ලැබී තිබෙන දත්ත අනුව, දෙසැම්බර් මාසයේ පමණක් සංචාරකයින් එක්ලක්‍ෂ අසූනවදහස් හයසිය පහක් පැමිණ තිබෙනවා.

    පසුගිය 29 සහ ඊයේ දින දෙකේ දාහත් දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවටයි, ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ අනුව දෙසැම්බර් මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්‍ෂ දෙක ඉක්මවා තිබෙනවා.

    පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැමිණ ඇත්තේ, 91,000 කට ආසන්න සංචාරකයින් පිරිසක් පමණයි. ඒ අනුව ‍මේ වසරේ සංචාරකයින්ගේ පැමිණීම කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා. 2023 වසරේ සංචාරක අමාත්‍යාංශය අපේක්‍ෂා කළ සමස්ත සංචාරකයින් ප්‍රමාණය ලක්‍ෂ 15 ක්.

    එම ඉලක්කය ආසන්නයටම ළඟාවෙමින් දාහතර ලක්‍ෂ හැත්තෑ දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. පසුගිය වසරේ පැමිණ තිබුණේ සංචාරකයින් ලක්‍ෂ 7 කට ආසන්න සංඛ්‍යාවක් පමණයි.

    උස්බෙකිස්තානයේ සිට සංචාරකයින් 177 දෙනෙකු, ඊයේ දිවයිනට පැමිණියා. ඒ, “උස්බෙකිස්තාන් එයාර් ලයින්” සමාගමට අයත් ගුවන් යානයකින්. ඊයේ පස්වරුවේ මත්තල ගුවන් තොටුපොළට පැමිණි සංචාරකයින් පිරිස සංස්කෘතිකාංගවලින් පිළිගනු ලැබුවා.

    උස්බෙකිස්තානයේ සිට සංචාරකයින් රැගෙන දිවයිනට පැමිණි පළමු ගුවන් යානය මෙය වන අතර, සෑම සෙනසුරාදා දිනකම සංචාරකයින් රැගෙන දිවයිනට පැමිණීමට නියමිතයි.

    Latest News