විද්‍යුත් වාහන ආනයනයට අවසර

සැප් 12, 2023

    තිරු බදු රහිත පදනමින් නැවත ආරෝපණය කළ හැකි විදුලි වාහන ආනයනය සඳහා අවසර ලබා දී තිබෙනවා. ආයෝජන ආකර්ශනය කර ගැනීම මෙහි අරමුණයි.

    අමෙරිකානු ඩොලර් 30,000  නොඉක්ම වූ නැවත ආරෝපණය කළ හැකි නව විදුලි වාහන රේගු ගාස්තු නිදහස් පදනම මත ආනයනයට, මෙහිදී අවසරය හිමි වී තිබෙනවා. දැනට පවත්නා ආයෝජන මණ්ඩල සමාගම් ප්‍රතිආයෝජනය සඳහා වූ ආයෝජකයන් රඳවා ගැනීම් හා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේයි, මෙම ආනයනය අවසරය හිමි වන්නේ.

    එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත සඳහා කාරක සභා අවස්ථාවේදී සිදු කරන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. එම සංශෝධනය සිදු කරන දිනය ලෙස 2025 අප්‍රේල් 01 වැනිදා නම් කර තිබෙනවා.

    ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන තෙක් මෙම ක්‍රමය යෝග්‍ය බවටයි, ජනාධිපතිවරයා තීරණය කර තිබෙන්නේ. මේ පිළිබඳව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු‍වේදී අදහස් පළ කළා.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගතව සිටින හා ඉදිරියේදී ගිවිසුම් ගතවන දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් සඳහා ශූන්‍ය තීරුබදු ගාස්තුවක් පැනවීමට අනුමැතිය හිමි වුණා. දේශීය වශයෙන් විදුලි වාහන එකලස් කිරීම හා නිෂ්පාදනය කිරීමට දිරිගැන්වීම මෙහි අරමුණයි. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ජනාධිපතිතුමා විසින්.     

    Latest News