ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ අලෙවිසැල් ජාලය පුළුල් කෙරේ

ජූලි 06, 2022
    මෙවර යළ කන්නයේ සහ එළඹෙන මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය මඟින් කටයුතු කරන බවත් හිඟයකින් තොරව පරිභෝජනයට අවශ්‍ය සහල් මහජනතාවට ලබාදීම සඳහා රජය විසින් විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
    දෙහිවල පිහිටි ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් ආහාර ද්‍රව්‍ය අලෙවිසැල නවීකරණය කිරීමෙන් අනතුරුව පාරිභෝගික සේවාවන් සැපයීම සඳහා අද (06) ආරම්භ විය. 
    ජනතාවට සහනදායී මිලකට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසමින්, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ අලෙවිසැල් ජාලය ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම ඇරඹිනි.
    එම අලෙවිසැලේ අලෙවි කටයුතු නිරීක්ෂණය කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
    ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ අලෙවිසැල් ජාලය ක්‍රමවත් කිරීම මඟින් වෙළඳපොලේ පවතින මිලට වඩා සහන මිලකට සහල්, එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ වියළි ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුකම් සැපයීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. විශේෂයෙන් වෙළඳපොලේ භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ ජනතාවට මුහුණදීමට ඇති පීඩනය අවමකරලීමේ පියවරක් වශයෙන් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් අලෙවිසැල් ජාලය මෙම වසර තුළදීම සක්‍රීය කිරීමට සැලසුම් කර තිබේ.
     
    දෙහිවල පිහිටි ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ අලෙවිසැල මඟින් එළවළු මෙන්ම වී අලෙවි මණ්ඩලය විසින් හඳුන්වාදී ඇති PMB Rice සහ වෙළඳපොලේ මිලට වඩා රු.1000 ක් අඩුවෙන් ලබාදිය හැකි කුළු බඩු මල්ලක් ද හඳුන්වා දී ඇත.

    Latest News