කොටුව දුම්රිය ස්ථානයටත් Q-shop එකක්

සැප් 21, 2021

    රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන Q-shop දාම වෙළෙඳසැල් ජාලයේ නවතම ශාඛාව කොටුව දුම්රිය ස්ථානය අසලදී අද දින මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණි. ඒ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මෙහිදී මෙම අළෙවිසැල විවෘත කරමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ හා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඒකාබද්ධව මෙම නව Q-shop අළෙවිසැල විවෘත කරනු ලැබූයේ හුදෙක්ම මෙරට කේන්‍ද්‍රීය දුම්රිය ස්ථානයක් වන කොටුව දුම්රිය ස්ථානය හරහා සිය සේවා ස්ථාන වලට ගමන් ගනු ලබන ජනතාවට රජයේ වගකීමක් සහිත ගුණත්වයෙන් ඉහළ පාරිභෝගික භාණ්ඩ සහනදායී හා සාධාරණ මිළගණන් යටතේ පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලබා දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා වන බවයි.

    රට තුළ සංචරණ සීමා හෝ හදිසි අවස්ථාවක් ඇති වූ විටක, පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා සඳහා බාධාවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමේ වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  

    එමෙන්ම මෙම Q-shop අළෙවිසැල විවෘත කිරීම සඳහා හිටපු ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් දැක්වූ දායකත්වයත්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු සියළුම නිලධාරීන් විසින් දක්වන ලද දායකත්වය වෙනුවෙන් අමාත්‍යවරයා සිය කෘතඥතාවය ද පළ කළේය. 

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    Qshop01

     

    Qshop2

    Qshop03

    Last modified on අඟහරුවාදා, 21 සැප්තැම්බර් 2021 16:56

    Latest News