බ්‍රිතාන්‍ය පවුම පහළට ඇඳ වැටෙයි

මාර් 19, 2020

    ලොව පුරා කොරෝනා වෛරසය පැතිර යාමත් සමග බ්‍රිතාන්‍ය පවුම එහි අවම මට්ටමට ඇඳ වැටී තිබේ. වසර 30කට පසු ඩොලරයට සාපේක්ෂව පවුම එහි වාර්තා කළ පහළම අගය මෙය ලෙස සැලකෙයි.

    මේ අනූව පවුමක අගය දැනට ඩොලර් 1.15ක් බවට පත්ව ඇති අතර එය දිනක් තුළ 5%ක පමණ පහළ යාමක්. වෛරස බලපෑමෙන් ලොව පුරා මූල්‍ය වෙළඳ පොලවල් දැඩි පසුබෑමකට ලක්ව තිබේ. වර්ෂ 1985න් පසුව මෙලෙස පවුමක අගය දැඩිව කඩා වැටීම බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල කරනු ඇති.

    බ්‍රිතාන්‍යයේ චාන්සලර් රිෂී සුනක් බ්‍රිතාන්‍ය සඳහා පවුම් බිලියන 350ක සහන පැකේජයක් ඉකුත් අඟහරුවාදා ප්‍රකාශයට පත් කළේය. ඒ කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති එරට සමාගම් ඇතුළු වෙළෙඳ ක්ෂේත්‍රයන් සඳහා සහන සැලසීමේ අරමුණින්. කෙසේ වෙතත් පවුමේ අගය මෙලෙස පහළ යාමත් සමග රජය හඳුන්වාදුන් හදිසි ආර්ථික ක්‍රියාමාර්ග සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් ගැටලු ඇති වන බව ආර්ථික විශ්ලේෂකයන් පවසයි. මේ වන විට ලොව ප්‍රමුඛ පෙළේ වෙළෙඳපොළ දර්ශක රැසක් ද පහළ ගොස් තිබේ. කෙසේ වෙතත් කොරෝනා වෛරසය, ලෝකයේම ආර්ථිකයට සිදුකර ඇත්තේ දැඩි බලපෑමක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 09:31

    Latest News