ශ්‍රීලංකන් ගුවන් සේවය චීනය වෙත ගුවන් ගමන් සංශෝධනය කරයි

පෙබ 05, 2020

    ශ්‍රීලංකන් ගුවන් සේවය සිය දිගුකාලීන වාණිජ ප්‍රතිපත්ති මත සහ වර්තමාන වෙළඳපල තත්වයන්ට අනුකූලව චීනය වෙත සිදුකරන සිය සේවාවන් සංශෝධනය කරමින් නගර කිහිපයකට ගුවන් ගමන් වාර තාවකාලිකව අඩු කිරීමට කටයුතු යොදා තිබේ.

    කොරෝනා ‍වයිරස් වසංගතය පැතිර යාමෙන් පසු විදේශගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවීමත් සමඟ මෙන්ම වර්තමාන මගී ඉල්ලුම මත මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    ඉල්ලුම පහත වැටීම හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් මේ වන විටත් චීනය වෙත ගුවන් ගමන් වාර අඩු කර ඇති අතර, එයට හේතු වී ඇත්තේ චීන රජය විසින් එරට පුරවැසියන්ගේ විදේශ සංචාර සඳහා සීමාවන් පැනවීමයි. එසේම කොළඹ සහ චීනයේ නගර කිහිපයක් අතර ක්‍රියාත්මක වන චීන ගුවන් සමාගම් හතරක් ද මෙලෙස සිය ගුවන් මෙහෙයුම් සීමා කර තිබේ.

    ශ්‍රීලංකාවේ වාණිජ ප්‍රතිපත්තිවල කොටසක් ලෙස වෙළඳපල තත්ත්වයන් නිරන්තරයෙන් ඇගයීමට ලක් කෙරෙන අතර මෙම ගුවන් ගමන් අඩු කිරීම් 2020 පෙබරවාරි මස 6 වන දා සිට 2020 මාර්තු මස28 වෙනිදා දක්වා ක්‍රියාත්මක වේ. ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට චීනයේ බීජිං, ෂැංහයි සහ කැන්ටන් යන නගර තුනකට සේවා සපයයි. බීජිං වෙත සතිපතා ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වාත් ෂැංහයි වෙත ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වා සහ කැන්ටන් වෙත ගුවන් ගමන් වාර 7 සිට 3 දක්වා අඩු කෙරේ.

    කොළඹ-අබුඩාබි වෙත පුළුල් බඳ සහිත ගුවන් යානා ඉහළ නැංවීම සහ ගුවන් යානා කිහිපයක නියමිත නඩත්තු කටයුතු ඉදිරියට ගෙනයාම ඇතුළුව අනෙකුත් කලාපවල ධාරිතාව ඉහළ නැංවීම සඳහා මෙලෙස චීනයේ මෙහෙයුම්වලින් ඉවත් කරන ගුවන්යානා යෙදවීමට කටයුතු යොදා ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 51 ක නගර 116 ක්වෙත මෙහෙයුම් සිදුකරයි. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා 13 හරහා රටවල් 180 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 පෙබරවාරි 2020 07:37

    Latest News